ඕන කෙනෙක්ට.. ඕන වෙලාවක.. ඕන විදියට කියවන්න අනංමනං...

Monday, October 11, 2010

සීනී මදි.......


අම්මෝ ! යාන්තම් විභාගේ ඉවරයි... දැන් ඉතිං සති දෙකක් විතර නිදහසේ හිටිය හැකි. ඒ නිසා බ්ලොග් අවකාශය පැත්තෙත් වෙනදට වඩා ඇවිත් යන්න පුලුවන්.

අදත් ඉතිං පුරුඩු විදිහට මේ පැත්තේ ආවා අනංමනං ටිකක් කියලා යන්න....
අදත් කියන්න හිතුනේ පොඩි කාලේ ගැන තමයි. හැබැයි කලින් පොස්ට් එකේ කිව්වා වගේ මගේ පොඩි කාලේ ගැන නෙමෙයි.



මේ කතාව මගේ මාමා පොඩි කලේ කතාවක්. මතකද මගේ මාමාව? අර ගිනිකූරා බස් එකට නැග්ගද කියලා ඇහුවේ. අන්න හරි එයා තමයි. ඒ සීන් එකත් උනේ මාමා පොඩි කාලේදි තමා. හැබැයි අද කතාව මාමා ඊටත් වඩා පොඩිකාලේ කතාවක්.

මේ කතාව මට මතක් වුනේ අපේ අම්මා ලගදි මතක් කරපු කතාවක් නිසා. මුලින් මම පරණ කතාව කියල ඉන්නම්. ඉස්සර ඒ කියන්නේ මාමා පොඩිකාලේ දැන් වගේ නෙමයි සීනී හිඟයිලු. ඉතිං ආච්චි මාමට කිරි බෝතලේ හදල දෙන්න්ත් සීනි අඩුවෙන් දාලාලු.

හැබැයි මාමා කිරි එක ටිකක් බීලා අඩනවලු කිරි එකට සීනී මදි කියලා. එතකොට ආච්චි කරන වැඩේ කුස්සියට ගිහින් කිරි එකට සීනී කවලම් කරනවා වගේ මාමාට ඇහෙන්න කිරි එකට හැන්ද දාලා සද්දෙට කවලම් කරනවලු බොරුවට. එහෙම කරලා මාමාට ගෙනත් දෙනවලු සීනී දැම්මා කියලා. අනේ මාමාත් ආච්චිගේ බොරුවට අහුවෙලා අගේට කිරි එක බොනවලු........

හරි දැන් කියන්න යන්නේ වර්තමාන කතාව. දැන් මාමා බැඳලා ළමයි දෙන්නේකුත් ඉන්නවා. ඒ දෙන්නගෙන් පොඩි එක්කෙනා අවුරුදු 3 විතර ඇති. කලින් කියපු සීන් එක වෙනකොට මාමත් ඒ වයසේම තමයි. ඉතින් මේ ළඟදි දවසක් මාමලා අපේ ගෙදර ආපු වෙලාවක තමා වර්තමාන කතාව වුනේ.

එදා අපේ අම්මා කට්ටියටම තේ හදලා මාමාගේ පොඩි පුතාටත් කිරි එකක් හදාගෙන ආවා. පොඩි එකා කිරි එකෙන් ටිකක් බීලා සීනී මදි කියල අඩනවා. ඉතින් අපෙ අම්මා තව සිනි ටිකක් දාලා දුන්නා. පොඩි එකා තවත් ඉල්ලනවා.

අන්න ඒ වෙලාවේ අපෙ අම්මත් අර පරණ ට්‍රික් එකම දැම්මා. ඒ කියන්නේ
ආච්චි මාමාට කලා වගේ අම්මත් නිකං හැන්ද දාලා සද්දේ ඇහෙන්න සීනී දිය කරනවා වගේ කරලා මල්ලිට (මාමාගේ පුතාට) ගෙනත් දුන්නා.

ඔයගොල්ලෝ හිතන්නේ තාත්තා (මාමා) වගේ පුතත් බොරුවට අහුවුනා කියලද? මොන පිස්සුද මිනිහා ටිකක් බීලා බලලා කියනවා "කෝ මේකට සීනී දාලා නැනේ" කියලා..........දැන් ඉන්න පොඩිවුන් ඒ වගේ බොරු කියලා රවට්ටන්න බෑ. ඉස්සර අය තමා ඕවට අහුවුනේ. තාත්තා කාපු ලනුව පුතා කන්නේ නෑ........

ඔන්න ඔය වෙලවෙදි තමා අපී අම්මා ඔය අතීත කතාව මතක් කළේ. හැබැයි මාමා නම් දැන් කියන්නේ මාමා එහෙම ලනු කැවේ නෑ කියලා..... අපි අහුවේයි ඕවට............

3 comments:

  1. ආඩම්බර වෙන්න පුලුවන් පුතෙක්...මරු කතාව...!!!!

    ReplyDelete
  2. දැන් කාලේ කොළු පැටව් නෙමෙයි කොළු තාත්තලා ඉන්නේ :)

    ReplyDelete

මම ලියපු අනංමනං ගැන ඔබට හිතෙන අනංමනං මෙතන ලියන්න.